තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද (16) ප.ව. 04.00ට නිකුත් කරන ලද එම නිවේනදය හෙට (17) පෙ.ව. 08.30 සිට අනිද්දා (18) දින පෙ.ව. 8.30 දක්වා වලංගු වනවා.

ඒ අනුව එහි දැක්වෙන්නේ නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා තද වැසි ඇති වීමේ අවදානමක් ඇති බවයි.

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි වනවා.

තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.