ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට නිවේදනයක්

ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී පාදස්ථානයට ළඟාවීමට ඇති හැටන් ප්‍රවේශ මාර්ගයේ ඇති මහගිරිදඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් මේ වන විට පවතින භූ අස්ථාවරත්වය සම්බන්ධව ගවේෂණයක් සිදුකර ඇති බවය.

ඒ අනුව එම ගමන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ නිර්දේශ ක්‍රියාත්මක කරන තුරු දැනට පවතින තත්ත්වය යටතේ හැටන් පිවිසුම ඔස්සේ ඉහත අස්ථාවර කලාපය හරහා ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීම සීමාකළ යුතු බවට පොලීසිය විසින් දැනුම්දී ඇත.

එසේම ශ්‍රී පාද වන්දනාවට ආපේක්ෂා කරන බැතිමතුන් තම ප්‍රදේශයන්හි සිට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා ගමන් මාර්ගයන් පිළිබඳ දැඩි අවධානයෙන් හා සැලකිලිමත්ව ක්‍රියා කරන ලෙසට පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.