දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසා සිටියේ, මෙම කාලයේ දී සුළඟේ වේගය ද වැඩි විය හැකි බවය.
නමුත් ඊශානදිග මෝසම් කාලගුණය තුළ අන්තර් මෝසම් කාලගුණයට සාපේක්ෂව ගිගුරුම් සහිත වැසි අඩු බවයි ඔහු සඳහන් කළේ.
උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාතට මෙම ඊශාන දිග මෝසම් කාලගුණය සක්‍රීය වීම හේතුවෙන් දෙසැම්බර් 9 වනදායින් පසුව වර්ෂාපතනය වැඩි විය හැකි අතර, ඕනෑම අවස්ථාවක එම ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අතුල කරුණානායක මහතා කියා සිටියේය.
එසේම මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, මි.මී 75 හෝ 100ක පමණ වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු පළාත්වලට මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම නිරිතදිග කොටසට ගිගුරුම් සහිත වැසි නොමැති වුවත් වැසි ඇති විය හැකි බව ද අතුල කරුණානායක මහතා කියා සිටියේය.
මේ හේතුවෙන් දෙසැම්බර් 9 වනදායින් පසුව මුහුද රළු විය හැකි බවත් ධීවරයින් හා නාවිකයින් ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

