පොහොර සහනාධාරය ලබාදීම සදහා ප්‍රමාණවත් මුදල් තිබෙනවා

පොහොර සහනාධාරය නොලැබීමට හෝ ප්‍රමාද වීමට කිසිදු හේතුවක් නොමැති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියේ පොහොර සහනාධාරය ලබාදීම සදහා ප්‍රමාණවත් මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව පවතින බවය.

මහ කන්නයේ පොහොර සහනාධාර වැඩසටහන පසුගිය 30වැනිදා ආරම්භ කළ බවත් ඒ යටතේ එක් වී වගාකරුවෙකුට රුපියල් 25,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීම සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සහනාධාරය වාරික දෙකක් වශයෙන් ලබා දීමට නියමිතයි.

එමෙන්ම එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ කන්න රැස්වීම පවත්වා ගොවීන්ගේ නාම ලේඛනය පිළියෙළ කර ගොවිජන සේවා මධ්‍යස්ථානයට වාර්තා කළ වහාම පළවෙනි වාරිකය වශයෙන් රුපියල් 15,000ක මුදලක් ලබා දෙන බවය.

දෙවන වාරිකය වශයෙන් ඇති ඉතිරි රුපියල් 10,000ක මුදල භූමියේ වී වගාව ආරම්භ කළ බව තහවුරු කළ විට ලබා දෙන බව ද එහිදී ඔහු පැවසීය.

ගෝවීන් ලක්ෂ 14කට පමණ එනම් කුඹුරු ඉඩම් හෙක්ටයාර ලක්ෂ 8කට පමණ මෙම සහනාධාර වැඩසටහන යටතේ ආධාර ලබා දීමට බලාපොරොත්තුව වන බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

රජය විසින් මේ සඳහා රුපියල් මිලියන 20,000ක මුදලක් වෙන් කර ඇත.