ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

මෙරට ප්‍රදේශ කිහිපයක වායු තත්ත්වය දර්ශක අගයන් ඉහළ මට්ටමකට පැමිණ ඇතැයි වාර්තා වෙනවා.

විශේෂයෙන් උතුර, උතුරු නැගෙනහිර ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය ඒකක 150 දක්වා නොඑසේ නම් තරමක් අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා කියාසිටියේය.

අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇත.

මීට සති දෙකකට පෙර පැවති වායුගෝලයේ කැලඹිලි ස්වභාවය සමග උතුරු දෙසින් රට තුළට වායු දූෂකකාරක ඇතුළු වී ඇතැයි ද අජිත් ගුණවර්ධන මහතා පැවසීය.

ඔන්ලයින් ඔස්සේ මේ පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව මේ වනවිට ලංකාව සතුව තිබෙන බවත්, යාපනය, කිළිනොච්චිය හා මන්නාරම යන ප්‍රදේශවල දර්ශක අගය 150 – 200 දක්වා ඉහළ ගොස් තිබූ බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය ඉදිරියේ දී පහව යනු ඇතැයි පුරෝකථනය කළ හැකි බවයි අජිත් ගුණවර්ධන මහතා පවසන්නේ.

මේ අතර ශ්වසන ආබාධ ඇති අයට මෙම තත්ත්වය තුළ හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි බවත් ඔවුන් එවැනි අවස්ථාවලදී වහාම වෛද්‍යවරයෙකු මුණගැසිය යුතු බවත් හෙතෙම සඳහන් කළා.