2026 අයවැය අද පාර්ලිමේන්තුවට

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරු  01.30ට අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය හෙට (08) සිට දෙසැම්බර් මස 5 දින දක්වා පැවැත්වෙනවා.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතව තිබේ.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.

අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වෙනවා.

2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434 ක් වේ. 

එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් ලෙස දැක්වෙනවා.