ධීවර සහ නාවික ප්‍රජාවට මුහුදු යෑමෙන් වලකින ලෙස දැනුම් දීමක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ඔක්. 25 දින සවස 05.30ට පමණ ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800ක් පමණ ඊසාන දෙසින්, උතුරු අක්ෂාංශ 10.9 ත් නැගෙනහිර දේශාංශ 88.1 ත් ආශ්‍රිතව ස්ථානගතව පැවතින.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින් 2025 ඔක්තෝම්බර් 26 දින ගැඹුරු පීඩන අවපාතයක්, ඔක්තෝම්බර් 27 වන දින සුළිකුණාටුවක් සහ ඔක්. 28 දින උදෑසන චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වෙමින් අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ දෙසට ගමන්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නැවත දැනුම් දෙනතුරු, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලන් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව, මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනෙකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළං බස්නාහිර දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා ඉහළ යා හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර විටින් විට රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.