2026 – 2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් – මැ.කෝ.

2026 – 2029 මැතිවරණ උපාය මාර්ග සැලැස්ම සකස් කර අවසන් බවත්, එය නොවැම්බර් මාසයේදි ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසනවා.

හැටන් ප්‍රදේශයේ ඊයේ (27) පැවති දැනුවත් කිරිමේ වැඩසටහනකට එක් වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ මැතිවරණ කොමසාරිස්වරයා එහි දී දැක්වූ අදහස්,

“නොවැම්බර් මාසේ පළවෙනි සතිය වෙනකොට අපි 2026 – 2029 උපාය මාර්ග සැලැස්ම ප්‍රකාශයට පත් කරනවා.  ඒකෙ අවසන් අදියරේ අපි මේ වෙනකොට ඉන්නේ.

අපි දිස්ත්‍රික්ක 25 සියළුම ආකාරයේ ජන කොටස් එක්ක පාර්ශවකරුවන් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් තමයි මේකට ඇතුලත් කරලා තියෙන්නේ. කොමිෂන් සභාවේ පාලන සැලැස්ම තුළ කිසිදු දෙයක් නෑ අපේ දේවල්, තියෙන්නේ සියලුම ඔබේ දේවල්, මහජනතාවගේ දේවල් සහ ඉල්ලීම් තියෙන්නෙ.

අපි උත්සහ කරන්නේ අවුරුදු 04 තුළ කොහොමද එම ඉල්ලීම් ටික ඉටු කරන්නේ කියලා. ඒ අදාළ ලියවිල්ල නොවැම්බර් මාසේ මුල සතිය වන විට ප්‍රකාශයට පත් කරන්න සුදානම් කරලා තියනවා.උපාය
මාර්ග සැලැස්මට පැරණි දේවලුත් අලුත් දේවලුත් ඇතුලත් කරලා තියනවා.

පළවෙනි දේ තමයි මැතිවරණයේ සම්බන්ධයෙන් යම් කිසි වෙනසක් වෙනවා නම් මුලින්ම නීතියේ වෙනසක් විය යුතුයි. විශේෂයෙන්ම අපි ඒකේ සඳහන් කරලා තියනවා. අපි හැමෝටම වැදගත් වන දෙයක් තමයි පුර්ණ ඡන්ද විමසීම කියන එක. මා මේ වන විටත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියනවා පූර්ණ ඡන්ද විමසීම අදාළව නිතිය සකස් කරන්න කියලා. එහෙම වුනොත් අපට පුලුවන් ගොඩක් ගැටළු විසදගන්න. ඡන්ද දිනයේදි ඡන්දය භාවිතා කරන්න බැරිවුණ අයට විසදුම් ලබා දෙන්න.”

මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා 2025 නොවැම්බර් 11 වන දින විශ්‍රාම යෑම නිමිත්තෙන් මෙසේ අදහස් දැක්වුවා,

“මාගේ රාජ්‍යව සේවය අවුරුදු 30යි. මා මැතිවරණ රාජකාරිවලට පැමිණිලා අවුරුදු 20ක් පමණ වෙනවා. එම කාලය තුළ මට රාජකාරි සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ඇති වෙලා නෑ. මම ස්වාධීනව තමයි කටයුතු කළේ”.