ඊශ්‍රායලය ගාසා නගරයේ විශාල පරිමානයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරයි

දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් ගාසා නගරය වෙත ඊශ්‍රායලය විසින් දියත් කර තිබෙනවා.

මේ හේතුවෙන් දහස් ගණන් ජනතාවට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඇස්තමේන්තු කරන්නේ මේ වන විට ගාසා නගරයෙන් 350,000 ක් පමණ ජනතාව පලා ගොස් ඇති බවයි.

කෙසේවෙතත් තවත් මිලියන භාගයකට වඩා ජනතාවක් නගරයේ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම හමාස් සටන්කරුවන් 3,000 ක් පමණ නගරයේ රැඳී සිටින බව විශ්වාස කරන බවයි ඊශ්‍රායල හමුදා සඳහන් කරන්නේ.

මේ අතර ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාර වලින් පුද්ගලයින් 59 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 386 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එසේම සාගතය සහ මන්දපෝෂණය හේතුවෙන් තිදෙනෙකු මිය ගොස් ඇති අතර ඊට දරුවෙක් ද ඇතුළත් වන බව සඳහන්.