පුනරුදයේ පුරවරය පළාත් පාලන සතිය අදින් ඇරඹෙයි

පුනරුදයේ පුරවරයක් බිහිකිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය අද සිට (15) ආරම්භ වනවා.

ඒ අනුව අද සිට එළැඹෙන 21 වනදා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.

එහි දී සැප්තැම්බර් 15 වනදා ජංගම සේවා දිනය ලෙස සහ, 16 වනදා පරිසර සහ රුක් රෝපණ දිනය ලෙසද එනම් ඕසෝන් ස්ථරය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව නම්කර තිබෙනවා

ලෝක රෝගී සුරක්ෂිතතා දිනය යෙදෙන සැප්තැම්බර් 17 වනදා සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනය ලෙසත්, 18 වනදා ආදායම් ප්‍රවර්ධන දිනය ලෙසද නම්කර ඇත.

එසේම සාහිත්‍ය මාසයට සමගාමීව ක්‍රියාත්මක කරන මෙම සතිය තුළ 19 වනදා සාහිත්‍යය, අධ්‍යාපන සහ පුස්තකාල ප්‍රවර්ධන දිනය වශයෙන්ද ලෝක පිරිසිදු කිරීමේ දිනය යෙදෙන සැප්තැම්බර් 20 වනදා මහජන උපයෝගීතා දිනය ලෙස සහ අවසන් දිනය වන 21 වනදා සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්තිය සනිටුහන් කරනවා.

මෙම සතිය තුළින් ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන සහ ජීවත් වීමේ වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුරවරයක් බිහි කිරීම අරමුණ වන බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී.රුවන් සෙනරත් මහතා සඳහන් කළේ.

“පුනරුදයේ පුරවර කියන ප්‍රධාන තේමාව අරගෙන අපි පළාත් පාලන සතිය ආරම්භ කරනවා. විශේෂයෙන් ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන, ජීවත්වීමේ වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කරමින් අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුනරුදයේ පුරවරයක් බිහි කිරීම උදෙසා රාජ්‍ය පරිපාල සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් මෙහෙයවන අඛණ්ඩ වැඩසටහනක් සඳහා අත්වැල් බැඳගන්නා ලෙස සියලු පළාත් පාලන ආයතන වෙත අපි හඳුන්වා දී තිබෙනවා.”