හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසින් පිටව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි විජේරාම නිල නිවසින් පිටව ගොස් තිබෙනවා.

විජේරාම නිල නිවස භාර දී ඔහු මැදමුලනේ පිහිටි සිය නිවස බලා පිටත්ව යන බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ කියා සිටියේ.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග යන හිටපු ජනාධිපතිවරුන්ද සිය නිල නිවෙස් රජයට ලබා දීමටයි තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සංශෝධන රහිතව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත, පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එමගින් හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට සපයන ලද යම් නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාව අත්හිටුවීමට යෝජනා කර තිබුණා.

එසේම හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවට ගෙවන ලද මාසික ලේකම් දීමනාව, නිල ප්‍රවාහන සහ වෙනත් සියලු‍ පහසුකම්ද එම පනත හරහා ඉවත් වනු ඇත.