මානසික සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

මෙරට පුරවැසියන්  අතර සියදිවි නසා ගැනීම් අනුපාතය ඉහළ යාම, මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම සහ විශේෂයෙන් නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන් අතර මනෝ සමාජීය ගැටලු පැන නැගීම බහුලව දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන්, 2025 අයවැය යෝජනාවක් පරිදි, මානසික සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

රජය විසින් මේ සඳහා රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවන්, රෝහල් සහ අනෙකුත් අදාළ ආයතන සමඟ එක්ව යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ යටතේ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් සිසුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා දැනුම්වත් කිරීමේ සහ උපදේශන සේවා පුළුල් කිරීම අරමුණු කරගත් මධ්‍යකාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.