රනිල්ගේ නඩුව අද කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත ඔහුව පසුගිය 22 වෙනිදා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ අතර එහි දී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අද දිනයේ ඔහුව ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න ඔහුගේ අධීක්ෂණය සිදු කරන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් අද තීරණය කිරීමට නියමිතයි.

මේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණයට පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඊයේ පස්වරුවේ නිකුත් කළ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා දැක්වූ අදහස්,

“සවස 5 වනවිට පංච පුද්ගල විශේෂඥවරුන් කණ්ඩායමක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාදීලා තියෙනවා. ඒ වාර්තාවට අනුව ඔහු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය බව පවසලා තියෙනවා. ඒ අනුුව ඉදිරි පැය 24 තුළත් ඔහු ICU එකේ රැඳෙන්න ඕනේ කියන මතය තමා අපිට ලැබිලා තියෙන්නේ. ඒ අනුව කටයුතු සිද්ධ වෙයි. අපි කියන්නේ විචලනයට භාජනය වුණා එහි සංකූලතා මතුවුණා. එම සංකූලතාවලට ඉක්මනින් ප්‍රතිකාර නොකළොත් සංකීර්ණ සංකූලතා බවට පත්වෙයි. ඒ නිසා තමා ප්‍රතිකාර කරන්නේ.”