නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අදාළ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

2025 වර්ෂය සඳහා ලියාපදිංචි කිරීමට ඉල්ලීම් කර ඇති නව දේශපාලන පක්ෂවල සම්මුඛ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, දේශපාලන පක්ෂ 47ක් මූලික සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගෙන ඇති බවය.

මේ වසර සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට පසුගිය පෙබරවාරි මාසයේ ඉල්ලුම්පත් කැඳවීම සිදුකළ අතර එහිදී ඉල්ලුම්පත් 83ක් ඉදිරිපත්වී තිබුණි.

ඒ අතුරින් ඉල්ලුම්පත් 36ක් මූලික කරුණු පවා සපුරා නොතිබීම හේතුවෙන් ප්‍රතික්ෂේප කර තිබුණා.

ඒ අනුව ඉතිරි ඉල්ලුම්පත් 47 සම්බන්ධයෙන් මූලික සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුවන අතර එම සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා පක්ෂ සඳහා දෙවන වටයේ සම්මුඛ පරීක්ෂණවලට යොමුකිරීමට නියමිතය.

එම සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව තෝරා ගන්නා පක්ෂ 2025 වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි කිරීම සිදුකෙරෙනු ලබනවා.