පිංබර නිකිණි පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
මේ පොහෝ දිනය ඓතිහාසික මෙන්ම ශාසනික වැදගත්කම් රැසක් සිදු වූ දිනයක් ලෙස හැඳින්විය හැකි වනවා.
පසුගිය ඇසළ පොහෝ දිනයට යෙදුණු පෙර වස් මඟහැරි භික්ෂූන් වහන්සේලා විසින් පසුවස් සමාදන් වෙන්නේ අද වන් වූ නිකිණි පොහෝ දිනයකයි.
එසේම බුද්ධ පරිනිර්වාණයෙන් තුන්මසකට පසු අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සහ ආනන්ද හිමියන්ගේ රහත් වීම ද සිදු වුණේ අද වන් වූ දවසකයි.
“පඤ්චසතිකා විනයසංගීති” නමින් එම සංගායනාව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තවත් රහතන වහන්සේලා 500ක ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුනා.
රජගහ නුවර වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි එම සංගායනාව ආරම්භ කෙරුණු අතර ඊට මාස හතක කාලයක් ගත වූ බවයි සඳහන් වෙන්නේ.
මේ පොහෝ දිනය ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වන තවත් හේතුවක් නම් බුදුරජාණන්වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල මහා සෑය තැනීම ආරම්භ කිරීම ද අද සිදු වීමයි.
මෙලෙස වැදගත් සිදුවීම් රැසක් සිදු වූ අද දිනයේ ලංකාවාසී සහ ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජා වල නියැලෙමින් ආගමනුකුලව ගත කරනු ලබනවා.

