ජාතික ධීවර යාත්‍රා සංගණනය අද සිට

ජාතික ධීවර යාත්‍රා සංගණනය අද (04) ආරම්භ වීමට නියමිත බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කරනවා.

එහි පළමු අදියර අද පානදුර ධීවර වරායෙන් ආරම්භ වන අතර එය ලබන 20 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මකයි.

මෙලෙස මුළු දිවයිනම ආවරණය වන පරිදි ධීවර යාත්‍රා සංගණනයක් පවත්වන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයක්.

මෙරට වෙරළ තීරයේ පවතින 50,000ක් පමණ වන ධීවර යාත්‍රා පිළිබඳව යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම මෙම සංගණනයේ  ප්‍රධාන අරමුණක් බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

එසේම මේ හරහා සක්‍රීය ධීවර යාත්‍රා හඳුනාගැනීම, භාවිතයේ නොයෙදෙන සහ අබලන් වූ යාත්‍රා වෙරළ තීරයෙන් ඉවත් කර “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සහාය වීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට දායකවීම සහ ධීවර මෙහෙයුම් බලපත්‍ර ක්‍රමවත් කිරීම මෙම ධීවර යාත්‍රා සංගණනයේ දී සිදුකිරීමට නියමිතය.

සංගණනයෙන් රැස්කරගන්නා තොරතුරු මත ලබන වසරේ සිට, ධීවර යාත්‍රා මෙහෙයුම් බලපත්‍ර සහ අනෙකුත් සියලුම සහන සේවා කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙමඟින් රටේ ධීවර යාත්‍රා පිළිබඳ යාවත්කාලීන දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර, සංගණනයට ඉදිරිපත් නොවන යාත්‍රාවල මෙහෙයුම් බලපත්‍ර අලුත් නොකිරීමටද තීරණය කර ඇති බවයි.