මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අද (25) පෙරවරු 06.05ට යෙදුනු සුබ මොහොතින් සිදු කරනු ලැබුවා.
පෙර සිට පැවත එන සිරිතට අනුව අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ පිහිටි “පණස වෘක්ෂයේ” පේ කොට තබන ලද ශාඛාවක් ඊයේ (24) මහනුවරට පෙරහැරින් රැගෙන ඒම සිදු විය.
අනතුරුව නිලමේවරුන්ගේ සහභාගිත්වයෙන් පුරාණ චාරිත්‍ර හා ආගමික වතාවත්වලට අනුව මෙම කප් සිටුවීමේ මංගල්‍යය ආරම්භ වුණා.
ඒ අනුව අද සිට නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවල වල අභ්‍යන්තර පෙරහැර ආරම්භ වනු ඇත.
මේ අතර ශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහර මංගල්‍යෙයේ ප්‍රථම කුඹල් පෙරහැර එළැඹෙන 30 වැනිදා ආරම්භ වීමට නියමිතය.
එමෙන්ම අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිත අතර පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දිනද, අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වනවා .








