වනඅලි ජීවිත සුරැකීම සහ වනඅලි – මිනිස් ගැටුමෙන් පීඩාවට පත් ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අදාළ අමාත්‍යවරුන් හා නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
දිනෙන් දින උග්‍ර වන වනඅලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ ජීවිතයට සිදුව ඇති බලපෑම පිළිබඳ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
එසේම නිලධාරීන් විසින් පවතින තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ, කුමන තත්ත්වයක් යටතේ වුවද වනඅලින්ට සිදුවන හිරිහැර පිළිගත නොහැකි බවත්, ඒ වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතු බවයි.
එසේම ග්‍රාමීය මට්ටමින් මේ පිළිබඳව සමීපව අධ්‍යයනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
වනඅලි – මිනිස් ගැටුම කළමනාකරණය සඳහා පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5,000ක් සහායකයින් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.
එසේම, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අත්‍යවශ්‍ය වන වාහන සංචිත ප්‍රමාණය වැඩි කිරීමට ද උපදෙස් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, ඒ වෙනුවෙන් කැබ් රථ සහ යතුරුපැදි මිලදී ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසද උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කරන්නේ.
මීට අමතරව, ගම්මානවලට වනඅලි ඇතුළු වීම වැළැක්වීම වෙනුවෙන් යෝජිත කිලෝමීටර් 800කින් සමන්විත ආරක්ෂක විදුලි වැට සහ අලි කොරිඩෝ 16ක් ප්‍රතිෂ්ඨාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සැලසුම් කඩිනමින් සකසා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

