පාඩම් කරන අයට වැදගත් වෙන Pomodoro Technique එක

පාඩම් කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් නේ හරියට කාලය කළමනාකරණය කර ගන්න බැරිවීම සහ දවසම අරන් පාඩම් කළත් අන්තිමට කරපු දෙයක් නැති වෙන එක.

ඒකට හොඳ විසඳුමක් තමයි මේ Pomodoro Technique එක.

ඔයාලා සමහර විට Pomodoro Technique එක ගැන අහලාත් ඇති. මොකද ඒ තරමටම මේක ජනප්‍රිය දෙයක්.

1980 ගණන්වල අගභාගයේදී ෆ්‍රැන්සිස්කෝ චිරිලෝ (Francesco Cirillo) නම් ඉතාලි ජාතිකයෙක් විසින් මෙය හඳුන්වා දෙනු ලැබුවා. Pomodoro” කියන්නේ ඉතාලි භාෂාවෙන් “තක්කාලි” කියන එකට. චිරිලෝ මේ ක්‍රමය සඳහා තක්කාලි හැඩැති kitchen timer එකක් භාවිතා කළ නිසයි මේ නම ලැබුණේ.

Pomodoro Technique එකේ ප්‍රධාන පියවර 05ක් තියෙනවා.

කරන්න ඕනේ වැඩ ටික list එකක් හදා ගන්න

ඉස්සෙල්ලම ඔයා අද කරන්න බලාපොරොත්තු වෙන වැඩ ටික list එකක් හදා ගන්න ඕනේ. ඒවාට ඔයා වැය කරන්න බලාපොරොත්තු වෙන වෙලාවත් ආසන්න වශයෙන් මෙහි සටහන් කර ගන්න.

Timer එක සකස් කර ගන්න

දැන් තියෙන්නේ ඔයාගේ timer එකේ හරි phone එකේ timer එකේ හරි විනාඩි 25කට වෙන්න timer එකක් සකස් කරන එක. මේ විනාඩි 25 ක කාලය තමයි එක Pomodoro එකක් කියන්නේ. මේකේ දී ඔයා phone එකක් භාවිතා කරනවා නම් Timer එක ඉවර වුණාම vibrate වෙන විදිහට සකස් කර ගැනීම වඩාත් සුදුසු වෙනවා.

දැන් ඔයාගේ වැඩේ කරන්න

දැන් timer එක හරියට සෙට් කර ගත්තට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ වැඩේ කරන එක. මේකේ දී විනාඩි 25කට හරියන්න ඔයාගේ වැඩේ කොටස් වලට කඩා ගන්න එක හොඳයි. එක ලිස්ට් එක හදන කොටසේ දී ම හෝ මනසින් ඔයාට කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ විනාඩි 25කට ඒ කොටස ප්‍රමාණවත් වෙන විදිහට හදා ගන්න එක.

ඒ වගේම මේ වැඩේ කරන අතරතුර ෆෝන් එකෙන් සෝෂල් මීඩියා යන එක, වෙන වෙන වැඩ කරන එක සහ වෙන දේවල් වලට අවධානය දෙන එක කරන්න එපා. මේ විනාඩි 25 ඇතුලෙ ඔයා තනිකරම ඔයාගේ වැඩේ තමයි focus කරන්න ඕනේ.

විනාඩි 05ක කෙටි විවේකයක් ගන්න

දැන් ඔයාගේ විනාඩි 25 ඉවර වුණාම ඔයා විනාඩි 05ක කෙටි විවේකයක් ගන්න. මේකත් විනාඩි 05ක timer එකක් තියලා කරන්න පුළුවන්. මේ විවේකයේ දී ඔයාට පුළුවන් ඔයා වැඩ කරන තැනින් ටිකක් නැගිටලා එලියට යන්න, ඇවිදින්න, වතුර ටිකක් බොන්න වගේ දේවල් කරන්න. , දුරකථන තිරය හෝ වෙනත් අවධානය වෙනස් කරන දෙයක් නොබලා ඉන්න එක වැදගත් වෙනවා මේ කෙටි විවේකයේ දී ත්.

වට හතරකට පසු දිගු විවේකයක්

ඔයා විනාඩි 25 සහ විවේක වට හතරකට පස්සේ දිගු විවේකයක් ගන්න. ඒ කියන්නේ විනාඩි 15 සිට 30 දක්වා වූ විවේකයක් ගන්න.

පසුව ඒ විවේකය ඉවර වුනාම ආයෙමත් මුල ඉදන් මේ steps ටික cycle එකක් වගේ අනුගමනය කරන්නයි තියෙන්නේ.

ඉතින් මෙහෙම කෙටි විවේක ගනිමින් වැඩ කිරීම මොළයට වැඩි පීඩාකාරී බවක් ගෙන දෙන්නේ නැහැ වගේම, අපිට දැනෙන වෙහෙසත් අඩු වෙනවා. මේ හරහා පහසුවෙන් කාල කළමනාකරණය කර ගන්න පුළුවන්.