ඔයත් දියවැඩියාව නිසා පීඩා විදින කෙනෙක් ද ? එහෙනම් මේ ගැන සැලකිලිමත් වෙන්න

දියවැඩියාව කියන්නේ වර්තමාන සමාජයේ බහුලව තියෙන බෝ නොවෙන රෝගයක්.

Type 1 Diabetes සහ Type 2 Diabetes ලෙස දියවැඩියාව ආකාර දෙකක් තියෙනවා. මේ අතරින් Type 2 Diabetes තමයි බහුලව දකින්න ලැබෙන්නේ.

එකේ දී වෙන්නේ අපේ ශරීරයේ සෛල ඉන්සියුලින් වලට ප්‍රතිචාර නොදක්වන ඉන්සියුලින් ප්‍රතිරෝධී තත්ත්වයක් ඇති වීමයි. මේ ඉන්සියුලින් තමයි අපි ගන්නා ආහාරවලින් ලැබෙන සීනි සෛල තුළට ඇතුළු කර ශක්තිය බවට පත් කිරීමට උදව් කරන්නේ.

රුධිර සීනි මට්ටම නිරන්තරයෙන් පරීක්ෂා කිරීම

නිතිපතා රුධිර ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර සටහන් කර ගැනීම වැදගත් වෙනවා. මෙය සීනි මට්ටම පාලනය කිරීමටත්, අවශ්‍ය විටදී ප්‍රතිකාර වෙනස් කිරීමටත් උපකාරී වනවා. ෆාමසි වල මිල දී ගැනීමට තියෙන උපකරනකින් පහසුවෙන් ගෙදරදීම සීනි මට්ටම පරික්ෂා කර ගන්න පුළුවන්.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කිරීම

සීනි, පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් සහ අනවශ්‍ය මේද අඩු, තන්තු බහුල ආහාර (එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග) තෝරා ගන්න. ඒ වගේම ආහාර වේල් මඟ නොහැර නියමිත වේලාවට ආහාර ගැනීම වැදගත් වෙනවා. එහෙම නොවුණොත් රුධිරයේ ග්ලූකෝස් අසමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන්.

නිතිපතා ව්‍යායාම කිරීම

දිනපතා අවම වශයෙන් විනාඩි 30ක මධ්‍යස්ථ ව්‍යායාම (වේගයෙන් ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම) රුධිර සීනි මට්ටම අඩු කිරීමට වගේම සිරුරේ බර පාලනය කිරීමටත් උදව් වෙනවා.

බර පාලනය කිරීම

ස්ථුලතාවය දියවැඩියාවේ ප්‍රධාන අවදානම් සාධකයක් වෙනවා. ඒ නිසා රුධිරයේ සීනි මට්ටම ගැන වගේම බර ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමෙන් රුධිර සීනි මට්ටම වඩා හොඳින් පාලනය කරගත හැකි වෙනවා.

නියමිත වේලාවට ඖෂධ ගැනීම

ඔබේ වෛද්‍යවරයා විසින් නියම කර ඇති පරිදි ඉන්සියුලින් හෝ වෙනත් ඖෂධ නිවැරදි මාත්‍රාවෙන් සහ නියමිත වේලාවට ගැනීමට වග බලා ගන්න. ඒ වගේම තමයි කිසිවිටෙකත් වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ නතර කිරීම හෝ මාත්‍රා වෙනස් කිරීම නොකරන්න. නිරන්තරයෙන් වෛද්‍යවරයා හමු වී උපදෙස් ගන්න එක හොඳයි.

පාද රැකවරණය

දියවැඩියාව ස්නායු හා රුධිර සංසරණයට බලපෑම් කළ හැකි බැවින් පාදවල තුවාල හෝ ආසාදන ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. සෑම දිනකම ඔබේ පාද පරීක්ෂා කර, පිරිසිදුව හා වියළිව තබා ගන්න. ඒ වගේම පාදයේ ඇති විය හැකි තුවාල වලක්වා ගැනීම සඳහා සුවපහසු සපත්තු පළඳින්න.

ඇස් පරීක්ෂා කිරීම

දියවැඩියාව ඇස් වලට බලපෑම් කළ හැකි බැවින් (දියවැඩියා රෙටිනෝපති වැනි) මාස තුනකට හෝ පහකට වරක්වත් අක්ෂි පරීක්ෂණයක් කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

වකුගඩු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම

දියවැඩියාව වකුගඩු වලට හානි කළ හැකි බැවින්, වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි වකුගඩු ක්‍රියාකාරීත්වයත් මාස කිහිපයකට සැරයක් පරීක්ෂා කර ගන්න. මිට අමතරව මුත්‍රා පහවීම ගැනත් අවධානයෙන් සිටීම වැදගත්.

ආතතිය කළමනාකරණය

ආතතිය රුධිර සීනි මට්ටම ඉහළ නංවන්න පුළුවන්. යෝග, භාවනා හෝ විනෝදාංශ වැනි ක්‍රම මඟින් ආතතිය කළමනාකරණය කර ගැනීමට උත්සාහ කිරීම වැදගත් වෙනවා.