වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් සොයා වැටලීම්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බැවින් වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ගැසට් පත්‍රයක් මගින් සහල් සඳහා පාලන මිලක් පනවා ඇති බැවින් අදාළ මිල ගණන්වලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීම නීතියෙන් තහනම් වන බවයි එම අධිකාරිය අවධාරණය කරන්නේ.

එසේම වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සම්බන්ධව පාරිභෝගිකයින්ටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කළ හැකි බව ද දැනුම් දෙනවා.

ඒ අනුව කාර්යාල වේලාවන් තුළදී 1977 අමතා ඒ පිළිබඳ දැනුවත් කළ හැක.

සහල් අලෙවි කිරීමේදි රජය විසින් සුදු සහ රතු දේශීය කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 220ක් ලෙසත් සුදු සහ රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 230ක් ලෙසත් පාලන මිල පනවා තිබෙනවා.

එමෙන්ම සුදු සහ රතු සම්බා කැකුළු සහ වාෂ්පයෙන් තැම්බූ, තම්බන ලද දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 240ක් ලෙසත් කීරි සම්බා කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 260ක් ලෙසත් පාලන මිල පනවා ඇත.