ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කරයි

ඇති වී ඇති යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා.

වෙනත් ස්ථානයක සිට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි අමාත්‍යවරයා පැවසුවේ

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඊශ්‍රායලයේ සේවය කරන්නන් වන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවසුවා. 

“ඊශ්‍රායලයේ රැකියාවලට යවන එක අපි තාවකාලිකව නවත්වලා තියෙන්නේ. නිවාඩු ඇවිල්ලා ඉන්න අයටත් අවස්ථාවක් නැහැ ආපහු යන්න. අපි වීසා කාලය දීර්ඝ කරන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒක කරගන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී ඊශ්‍රායලයට යන එකත් අනතුරුදායකයි. ඊශ්‍රායලයට යන්න ගිහිල්ලා ඩුබායි එයාර්පෝට් එකේදී 10 දෙනෙක් හිටියා අපි ඒ අයව ලංකාවට ගෙන්න ගන්න කටයුතු කළා. ඊශ්‍රායලයේ රැකියා කරන අයව මෙරට ගෙන්න ගන්න ගුවන් යානයක් යවන එක අසීරු කටයුත්තක්. කොහොම වුණත් අපි නිරන්තරයෙන් තානාපතිවරුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.”