මැදපෙරදිග කලාපයේ මහා පරිමාණ යුද ගැටුමක අවදානම මතුකරමින් ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු මතුවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ, නොසන්සුන් තත්ත්වයත් සමග ගුවන් ගමන් සීමා කර ඇති බැවින් ඊශ්‍රායලයට පැමිණෙන සහ ඊශ්‍රායලයෙන් පිටත්ව යන ලාංකිකයින් නැවත දැනුම් දෙන තුරු ගුවන් ගමන් පමා කරන ලෙසය.
එසේම සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි මිසයිලවලින් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත කුටි ආසන්නයේ රැඳීසිටිමින් තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස ද ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් ලබා දෙනවා.
ප්‍රවාහන කටයුතු නවතා ඇති අතර සියලු දෙනාට ආරක්ෂක ස්ථානවලට යන ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.
සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියළි අහාර ළඟ තබා ගන්නා ලෙසටත් ලාංකිකයින්ට උපදෙස් දෙනවා.
මේ අතර තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයද පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයේ සහ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමග සම්බන්ධවෙමින් නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවය.

