අහමදාබාද් ගුවන් අනතුරෙන් මිය ගිය පුද්ගලයන් 269කගේ සිරුරු සොයා ගැනේ

ඉන්දීය ගුවන් අනතුරින් මියගිය පුද්ගලයින් 269 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ අහමදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ලන්ඩන් ගැට්වික් බලා යමින් සිටියදී, බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයක් වන එයාර් ඉන්දියා AI171, ගුවන් යානය ගුවන්ගත වී ටික වේලාවකට පසු ඊයේ පස්වරුවේ අනතුරට ලක් වුණා.

මගීන් 230 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් ගුවන් යානය, මේඝානි නගර් නේවාසික ප්‍රදේශයේ වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක ගැටීමෙන් දැවැන්ත ගිනි බෝලයක් ඇති වී තිබෙනවා.

අනතුරින් යානයේ සිටි පුද්ගලයින් 241 දෙනෙකු මිය ගිය අතර, එක් අයෙකු දිවි ගලවා ගෙන තිබෙනවා.

මෙලෙස දිවි ගලවා ගෙන ඇත්තේ 11A හි අසුන්ගෙන සිටි 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන විශ්වෂ් කුමාර් රමේෂ් යන තැනැත්තා වනවා. ඔහු යානය දෙකඩ වන විට යානයෙන් විසි කිරීමෙන් පසු සුළු තුවාල සහිතව දිවි ගලවා ගෙන තිබෙනවා.

මේ අතර මළ සිරුරු හඳුනා ගැනීම සඳහා DNA සාම්පල ඉදිරිපත් කරන්නැයි ඉන්දීය බලධාරීන්, යානයේ ගමන් කළ පුද්ගලයින්ගේ පවුල්වලට දැනුම්දී තිබෙනවා.

යානය කඩා වැටුණු ප්‍රදේශය ආශ්‍රිතව අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු විශේෂඥයින් පිරිසක්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අනතුර විමර්ශනයට විශේෂ කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්කර යවන බව, අමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ද නිවේදනය කළේ ය.

එහි ප්‍රධාන විධායක නිලධාරී  කෙලී ඕර්ට්බර්ග් සදහන් කළේ, ඒ සම්බන්ධයෙන් එයාර් ඉන්දියා සමාගමේ සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් සමඟ සාකච්ඡා කළ බවයි.

අගමැති නරේන්ද්‍ර මෝදි ද සිද්ධිය සිදු වූ ස්ථානයට අද පැමිණෙන බවයි වාර්තා වෙන්නේ.