පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය හෙටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (5) ආරම්භ කළ වැඩවර්ජනය හෙට දිනයේත් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදී මතුව ඇති ගැටලු සහ උසස්වීම් ඇතුළු කරුණු 5ක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය අද උදෑසන 8ට ආරම්භ කළා.

අද දිනයේ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක්වූ බවයි පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ.

කෙසේවෙතත් පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු විශේෂිත ආයතනවල වර්ජනය ක්‍රියාත්මක නොවීය.

එසේම රෝහල් තුළ හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා ද ක්‍රියාත්මක කෙරුනා.

මෙම වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වූහ.

මේ මෙම වර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“මේක තනිකරම දේශපාලන අරමුණ වෙනුවෙන් කරන වැඩක්.  හැමදාම මේක සෙල්ලමක් කරගෙන අපේ සෞඛ්‍ය පද්ධතිය කඩාකප්පල් කරන්න හිතාගෙන වැඩ කරනවා නම්, ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් නෑ. 

මේක සෙල්ලමක් නෙමෙයි. සතිකයට දෙකකට හැමදාම පැය 24, පැය 48 වර්ජන පටන් අරගෙන. මේකට මූණදෙන්න අපි ලෑස්තියි. කරුණාකරලා වැඩට එන්න. වැඩට ආවට පස්සෙ සාකච්ඡාවට සූදානම්”.