කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීමට දින නියම වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් නිවේදනය කරමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජුනි 16 වන දින උදෑසන 9.30 කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වීමට නියමිතය.

නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුවනු ඇත.

පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පූර්ණ බහුතරයක් නොලැබුණු අතර, ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙකම නිවේදනය කර ඇත්තේ නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල සහාය තමන් ලබාගෙන ඇති බවය.

මේ අතර තවත් පළාත් පාලන ආයතන 20ක මංගල රැස්වීම ද ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිත බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.