දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගන්යා සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළට

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගන්‍යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බවය.

ඒ අනුව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සම්බන්ධව සියලු දෙනා අවධානය යොමුකළ යුතු බව හෙතෙම අවධාරණය කරනවා.

ඩෙංගු මාරාන්තික බවත් චිකුන්ගන්යා රෝගයෙන් පසු මාස ගණනාවක් පුරාවට හන්දි කැක්කුම් ආදියෙන්ද පීඩා විඳීමට සිදුවන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම ගර්භණී මාතාවන්ට සහ වයසක පුද්ගලයින්ට චිකුන්ගන්යා රෝගය වැළඳුනහොත් එය අසාධ්‍ය විය හැකි බවත් ගර්භණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාටද මෙම තත්ත්වය බලපෑ හැකි වනවා.

එමෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වයේ වැඩි වීමක්ද මේ දිනවල දක්නට ලැබෙන බවත් දරුවන් අතර මෙම රෝගී තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.