හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය හෙට

මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) දිනයේ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනවා.

මෙරට හෙද සේවා ඉතිහාසයේ විශාලතම ප්‍රමාණයකට එකවර පත්වීමේ ලිපි ප්‍රදානය කරනු ලබන පළමු අවස්ථාව මෙය වන බවයි සඳහන් වෙන්නේ.

එසේම මෙම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස් වීම් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 9.30ට අරලියගහ මන්දිර පරිශයේ රැස්වීම් ශාලාවේදී මෙම පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු පිරිසක් ද එක්වීමට නියමිතය.