දෙවන විදුලු ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබා ගැනීම හෙට සිට

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් ලබා ගැනීම හෙට (23) සිට සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ජුනි මස 03 වැනිදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබාගැනීම සිදුකෙරෙන බවයි එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ.

2025 වසරේ දෙවැනි භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පසුබිම හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ යෝජිත නව සංශෝධනයට අනුව නව විදුලි ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බවය. 

2014-2022 කාලය තුළදී විදුලි ජනනය, සම්ප්‍රෙෂණය සහ බෙදාහැරීම සඳහා දැරීමට සිදුවූ පිරිවැය ඉහළ ගියද විදුලි ගාස්තුවල කිසිඳු වෙනසක් සිදුනොකළ බවත්, එම කාලය තුළ ඉන්ධන ගාස්තු, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් ද නිරන්තරයෙන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදු වන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.