දේශබන්දු තෙන්නකෝන් අද පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද පෙනී සිටීමට නියමිතව තිබෙනවා

පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ, අද පස්වරු 2.00 ට පමණ ඔහු කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.

2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතට අනුව පොලිස්පතිවරයාට එරෙහිව ඇති චෝදනා විමර්ශනයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කෙරිණ.

දේශබන්දු තෙන්නකෝන් මහතා, එම විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටින්නේ, පළමු වරටයි.

මෙම කමිටුව අවසන් වරට රැස් වුණේ පසුගිය 15 වනදායි. 

2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්යපටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමඟ කියවිය යුතු 3 (ඈ) සහ 3 (ඉ) වගන්ති ප්‍රකාරව සහ එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. 

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය මාර්තු 25 වනදා මෙම යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට භාර දී තිබුණා.