පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු අද (05) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7ට ආරම්භ වීමට නියමිත අතර දිවයින පුරා මධ්‍යස්ථාන 13,759ක දී ඡන්දය පස්වරු 04 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
ඡන්දහිමියන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 56,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබෙනවා.
මේ අතර ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ඒ සඳහා පැමිණිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ එල් රත්නායක මහතා අවධාරණය කළා.
පළාත් පාලන ආයතන 339ක් සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වෙනු ලබනවා.

