ඡන්ද රාජකාරි වලට පොලිසියෙන් 65,000ක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ අවශ්‍යතාව මත යුධ හමුදා සාමාජිකයින් ද ඒ සඳහා අනුයුක්ත කරන බවයි.

මේ අතර නිහඬ කාලසීමාවේ මැතිවරණ නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (පැෆරල්) පවසන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා රට පුරා නිරීක්ෂකයින් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි.

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ස්ථානගත කර ඇති නිරීක්ෂකයින්ට අමතරව, මැතිවරණ ආශ්‍රිත කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජංගම නිරීක්ෂකයින් 800 කට වැඩි පිරිසක් ද යොදවා ඇති බවයි.