ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්රෑන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතුවලට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
සමගි ජනබලවේගය නියෝජනය කරන කවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ රාත්‍රීයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 217 දරණ යානයෙන් අබුඩාබි නුවර බලා මෙලෙස පිටත්ව ගොස් තිබෙනවා.
මෙරට කතෝලික දේශපාලන අධිකාරීය නියෝජනය කරමින් ස්වර්ගස්ථ වූ අති උතුම් ශූද්ධෝත්තම ෆ්රෑන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට සහ උන්වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට තමන් එක්වන බවයි දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන කියා සිටියේ.
අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මේ වන විට වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ තැම්පත් කර ඇති අතර මහජන ගෞරවය දැක්වීම සඳහා ලබාදී තිබූ කාලය අද පස්වරුවේ අවසන් වීමට නියමිතයි.

