අලුත් අවුරුද්ද අපේ සංස්කෘතිය සහ අපේකම අපිට සිහිපත් කරන වකවානුවක්. ගෙදර හැම දෙනාම එකතු වෙන අවුරුදු කෑම මේසෙට අලුත් පන්නයේ ආහාර වලට අමතරව අලුත් අවුරුද්දට ආවේනික අපේ ආහාර එකතු කරගන්න පුලුවන් හරිම හොඳයි.
ඉතින් අලුත් අවුරුදු කෑම මේසයට අතීතයේ නැතිවම බැරි දෙයක් වුණේ හත් මාලුව.. ආහාරයක් සැකසීමේදී ඖශධිය ගුණය, වර්ණය හා පෝෂණය රැකෙන සේ පිස ගැනීම යන කාරණා සියල්ල හත් මාළුව තුලින් ඉටු වුණා.
හත් මාළුව පිස ගැනීමේදී ආහාර වර්ග සංයෝජනය කිරීම ඉතා විශිෂ්ට ලෙස සිදු කරනවා. කාබෝහයිඩේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ, තන්තු සහ ශාක රසායනික යන සියලු පෝෂණ සංඝටක සිරුරට එකවරම ලැබෙන ආහාරයක් ලෙස හත් මාලුව හඳුන්වන්න පුලුවන්. .
හත්මාළුව ආහාරයක අඩංගු විය යුතු ගුණ හා අඩංගු විය හැකි සියලු ගුණයන් එකවිට උපරිමයෙන්ම සිරුරට ලබා දෙන ආහාරයක් බවයි අපේ පැරැන්නන් අදහස.
හත්මාළුව පිසීමේදී ගෙඩි වර්ගයක්, කරල් වර්ගයක්, ඇට වර්ගයක්, කොල වර්ගයක්, දලු වර්ගයක්, මල් වර්ගයක් ආදී ගස් වැල් වල සෑම අංගයක්මද ආහාර ප්‍රභව ලෙස යොදා ගැනීම සිදු කරනවා. රසකාරක හා සුවඳකාරක ලෙසත් ආකර්ෂණීය පෙනුමක් ලබාදීමටත් විවිධ දේශීය කුලුබඩු වර්ග රැසක් ද හත්මාළුවට යොදා ගන්නවා.
අවුරුද්දට රස කැවිලි ආහාරයට ගැනීමේදී අධික තෙල් හා පිටි ප්‍රමාණයක් ආමාශ ගත වී ඇතිවිය හැකි බඩ පිපුම, මල බද්ධය, කෑම අරුචිය හත් මාලුව ආහාරයට ගැනීමෙන් සමනය වන බව අපේ ගැමියන් විශ්වාස කළා.
ඔබට පහසුවෙන් සපයා ගත හැකි දේවල් සහිතව තමයි මේ රෙසිපිය සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඔන්න මේ අවුරුද්දට අනිවාර්යයෙන් ම හත්මාලුව හදලා බලන්න අමතක කරන්න එපා.
අවශ්‍ය දේවල්
1. කජු 50 g
2. කොස් ඇට
3. මෑ කරල්
4. වම්බටු
5. අර්තාපල්
6. වට්ටක්කා දලු ස්වල්පයක්
7. අලු කෙසෙල් ගෙඩි දෙකක්
8. පොල් ගෙඩියක පමණ මිටිකිරි හා දියකිරි
9. මිරිස් කුඩු තේ හැඳි 3 ක්
10. තුනපහ කුඩු
11. තලාගත් එනසාල් කරල් 2 ක්
12. සූදුරු කුඩු ස්වල්පයක්
13. උලු හාල් ස්වල්පයක්
14. හොඳින් ලියාගත් රතු ළූනු
15. තලා ගත් සුදුළූණු
16. කරපිංචා,රම්පේ, ස්වල්පයක්
17. අමු මිරිස් කරල් දෙකක්
18. පොල් තෙල් ස්වල්පයක්
සාදන ක්‍රමය
කජු පෙඟෙන්නට තබා පෙඟුණු පසු පොතු ඉවත් කර ගන්න.කොස් ඇට කැබලි කපා ගන්න. මෑ කරල්, වම්බටු, අර්තාපල්, අලු කෙසෙල් කුඩාවට කපා ගන්න.
භාජනයකට තෙල් දමා රත් වූ පසු ලියා ගත් රතු ලූනු, තලා ගත් සුදු ලූනු, රම්පේ,කරපිංචා,කුඩාවට කපා ගත් අමු මිරිස් එකතු කරන්න. රන්වන් පැහැ වන සේ බැද ගත් මිරිස් කුඩු,තුන පහ, සූදුරු කුඩු, එනසාල් එකතු කර හොඳින් කවලම් කරන්න.
එයට කපා ගත් කජු ,කොස් ඇට, මෑ කරල්, වම්බටු, අල, අලුකෙසෙල් දමා දියකිරි එකතු කර මඳ වෙලාවක් පිසගෙන කිරි හිඳීගෙන එනවිට උළුහාල්, වට්ටක්කා දලු එකතු කර මිටිකිරි දමා මඳ ගින්නේ පිස ගන්න.
(අන්තර්ජාලය ඇසුරෙන්)

