දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා

ඒ අනුව අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගාස්තු ඉහළ දැමීම බලපැවැත්වෙනු ලබනවා.

යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ දී කල් බදු ගිවිසුම හෝ කුලී ගිවිසුම සඳහා අදාළ මුළු කාලපරිච්ඡේදය සඳහා අධි මිල ද ඇතුළුව එකතු කල් බද්ද හෝ කුලිය සෑම රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා රුපියල් 10ක මුද්දර ගාස්තුවක් අයකිරීම මේ වනවිට සිදුවනවා.

ඒ අනුව අදාළ මුද්දර ගාස්තුව අප්‍රේල් මස 01 වන දින රුපියල් 20 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

ඊට අදාළ ගැසට් නිවේදනය ද මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා විසින් මේ වනවිට නිකුත් කර තිබේ.

2006 වර්ෂයෙන් පසුව මෙම මුද්දර ගාස්තුව සංශෝධනය වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

කෙසේවෙතත් පාරිභෝගික ණය පනතේ එළැඹ ඇති සින්නක්කර ගිවිසුමක් යටතේ ගෙවිය යුතු මුළු වටිනාකමෙහි සෑම රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා අය කරනු ලබන මුද්දර ගාස්තුව සංශෝධනය නොවන බව යි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව රුපියල් දහයක් වන අදාළ මුද්දර ගාස්තුව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ලබනවා.