මියන්මාරයට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළට

මියන්මාරය සහ අසල්වැසි තායිලන්තයට ඊයේ ඇති වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මිය ගිය පිරිස 694 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බැංකොක් අගනුවර අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගිය බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

එසේම පුද්ගලයින්  1,670ක් තුවාල ලබා ඇති බවයි එරට හමුදා පාලනය තහවුරු කරන්නේ.

තවත් පුද්ගලයන් 100දෙනෙක් පමණ අතුරුදහන්ව ඇති අතර බොහෝ පිරිසක් තවමත් සුන්බුන් අතර සිරවී සිටින බවයි සඳහන් වෙන්නේ.

මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12.50ට පමණ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සහ රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ඇති වුණා.

මියන්මාර හමුදා රජයේ ප්‍රධානී ජෙනරාල් මින් අවුන් හ්ලයිං පැවසුවේ මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත්, උදව් සහ පරිත්‍යාග ලබා දෙන ලෙස “ඕනෑම රටකට” ආරාධනා කළ බවත්ය.