චුවින්ගම් කන්නේ බලා ගෙනයි… කෑවොත් මෙහෙම වෙන්න පුලුවන්

චුවින්ගම් කියන්නේ වයස් භේදයකින් තොරවම අපි කව්රුත් කම්මැලිකම මකා ගන්න වගේම වැඩක් කරනකොට හප හප ඉන්නත් ගන්න දෙයක් නේ.

මේ චුවින්ගම් ගැන පර්යේෂකයන් ටිකක් භයානක දෙයක් හොයා ගෙන තියෙනවා.

ඒ තමයි චුවින්ගම් මගින් මිනිසුන්ගේ මුඛයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් සිය ගණනක් මුදා හරිනවා කියලා.

ලොස් ඇන්ජලීස් (UCLA) හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් තමයි මේ බව සොයා ගෙන තියෙන්නේ.

මේ වන විට රුධිරය, පෙනහළු සහ මොළය ඇතුළුව මිනිස් සිරුරුවල ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් තියෙනවා කියලා ඔප්පු වෙලා ඉවරයි.

ඉතින් මේ චුවින්ගම්ත් මේ විදිහට අපෙ ශරීරයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇතුළු වෙන්න පුළුවන් ක්‍රමයක් විදිහට හොයා ගෙන තියෙනව.

චුවින්ගම් ග්‍රෑම් එකකින් සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් 100 ක් නිකුත් වන අතර සමහරක් චුවින්ගම් වලින් අංශු 600 කට වඩා පිටවන බව මේ පරියේෂණ වලින් හොයා ගෙන තියෙනවා.

ඒ අනුව වසරකට චුවින්ගම් 180 ක් පමණ හපන පුද්ගලයින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් 30,000 ක් පමණ පරිභෝජනය කළ හැකි වනවා.

චුවින්ගම් භාවිතා කළ පළමු මිනිත්තු අට තුළ එහි ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් සියල්ලම පාහේ අපේ ශරීරයට යන බවත් මේ පර්යේෂණ හරහා සොයා ගෙන තියෙනවා.