දේශබන්දු ගැන තොරතුරක් ඇතොත් වහාම CID එකට දැනුම් දෙන්න

ලැබී ඇති තොරතුරු අනුව දේශබන්දු තෙන්නකෝන් රටින් පිටව ගොස් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා.

මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට ඔහු රැදී සිටින ස්ථාන පරික්ෂාවට ලක් කළත් නීතියට අනුගත නොවී ඔහු සැඟව සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ.

මේ අතර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජුවම යොමු කරන ලෙස මහජනතාවගෙන් ඔහු ඉල්ලීමක් ද කරනවා.

හිටපු පොලිස්පති අත්අඩංගුවට ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

ශ්‍රී ලංකා පොලිසිය විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමේ නියෝගයට අනුකූල නොවුණහොත් ඒ සඳහා ක්‍රියා කරන ආකාරයටම ඔහු සම්බන්ධ දුරකථන පරීක්ෂණ වාර්තා, රැඳී සිටිය හැකි ස්ථාන සියල්ල පරික්ෂා කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එමෙන්ම කිසියම් හෝ පුද්ගලයෙක් හිටපු පොලිස්පතිතුමන්ට සැඟව සිටීමට ආධාර සපයන්නේ නම් දණ්ඩනීති සංහ්‍රහයේ 209 වෙනි වගන්තිය යටතේ දඬුවම් හිමි වන බවත් ඔහු මෙහි දී අවධාරණය කරනු ලැබුවා.