පමා වූ පාස්පොට් මාසයක් ඇතුළට දෙනවා

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බවයි හෙතෙම සඳහන් කරන්නේ.

10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවා.

එසේම ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇති කිරීම මුලික අරමුණ කරගෙන පැය 24 පුරා ගුවන් ගමන් බල පත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබුවා..

එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයින් ඒ වෙනුවෙන් සිදු කරන කැපවීම වෙනුවෙන් සභාපතිවරයා ඔවුන් වෙත සිය ස්තුතිය පළ කළා.

ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් අදාළ මුද්‍රණ යන්ත්‍ර ලබා ගැනීමෙන් පසු යාපනයේ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බවත් ප්‍රාදේශීය කාර්යාල වල ගමන් බලපත්‍ර නිකුත් කිරීම දෙගුණ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී සඳහන් කළා.