මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට රජය අනුගමනය කරන ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඉදිරිපත්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සොයාබලා සුදුසු පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් ද වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණි.

එසේම අදාළ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තර්ජන පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දීමක් සිදුකර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.