පානීය ජලය පිරිපහදු කිරීමට යොදන පිරිසිදුකාරන ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වෙයි

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පානීය ජලය පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද හුණුගල් ආශ්‍රිත පිරිසිදුකාරක තොගයක් ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වි. චානක මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා.

“ලංකාවේ වැඩියෙන්ම බීමට ගන්නේ නල ජලය. මේ ජලය පිරිසිදු කිරීමේදී මාර්ගෝපදේශ තිබෙනවා. ලංකාවට හුණු කන්ටේනර 27ක් ඇවිත් තියෙනවා. මෙට්‍රික් ටොන් 550ක්. මේක ලංකාවේ ලැබ් එකේ පරීක්ෂා කිරීමේදී ක්‍රෝමියම් සංයුතිය 14ක්. මේක කොහොමද ලංකාවට ආවේ. සාමාන්‍යයෙන් ක්‍රෝමියම් උපරිම තියෙන්න පුළුවන් මිලිග්‍රෑම් 10යි. මේ සංඝටකයෙන් පුළුවන් පිළිකා සෛල ඇති කරන්න. වකුගඩු රෝග ඇති කරන්න”.

මෙම චෝදනා සම්බන්ධයෙන් අද (07) දිනයේදී විෂයභාර අමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.

“ඔව්. හුණු ගල් මෙට්‍රික් ටොන් 1500ක් ගේන්න කටයුතු කරලා තිබෙනවා. සාම්පල් එක හරි. නමුත් මේක ගෙනාවම ක්‍රෝමියම් වැඩියෙන් තියෙනවා කියලා වාර්තා වුණා. අදාළ ප්‍රමිතියේ නැත්නම් ආපසු යවනවා. හෙට උදේ අපේ විශය බාර ඇමතිතුමා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා.”