ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර ආර්ථික, අධ්‍යාපන, මාධ්‍ය සහ සංස්කෘතික යන අංශ හරහා පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම ගිවිසුම්වලට එළඹි බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසන්නේ.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

”අද ජනවාරි පහළොස් වෙනිදා, ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතාත් මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති සී ජින් මහතාත් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාවේදී, දෙරට අතර ආර්ථික, සංස්කෘතික, දේශපාලන සම්බන්ධතාවයන් පිළිබඳ ඉතාමත්ම වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් වුණා. ඒ වගේම, ඒ ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව, දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහළොවකට අත්සන් තබනු ලැබුවා. ඒ අවබෝධතා අපේ රටේ ආර්ථිකයටත්, ඒ වගේම අපේ රටේ අධ්‍යාපන, මාධ්‍ය,  සංස්කෘතියටත් ඉතාම වැදගත් අවබෝධතා ගිවිසුම් පහළොවක්. ඉතින් මේ හරහා, ශ්‍රී ලංකාවට විශාල වාසි රැසක් ඉදිරි අනාගතයේ ලබාගත හැකියි. මේ චීන ආණ්ඩුවේ සහයෝගය අපට දිගටම ලබාදෙන බවට, චීන ජනාධිපතිතුමා අද අපිට සහතික වුණා. ඉතින් මේ සාකච්ඡාවෙන්, ඒ වගේම මේ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව, රාත්‍රී භෝජන සහභාගී වෙලා ඉතා සුහද කතා බහක යෙදුනා. චීනය දිගටමත් ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් ආධාර, උපකාර කරන බවට අපිට පොරොන්දු වුණා. ඒ වගේම ලංකාවේ පැත්තෙන් අපි, චීනය අතර පවත්නා සම්බන්ධතාවය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න දෙපාර්ශවයම එකඟතාවය පළ කළා.”