පිංබර දුරුතු පුන් පොහෝ දිනය අදයි

වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබෙනවා.

දුරුතු පොහෝ දිනය ශාසන සහ ඓතිහාසික වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස හඳුන්වා දිය හැකි වනවා.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක වනවා.

මහියංගනය ප්‍රදේශයේ පිහිටි මහානාග නම් උයනක යක්ෂයන් සහ නාගයන් අතර ඇති වන්නට ගිය අරගලයක් සමනය කිරීම සඳහායි උන් වහන්සේ මෙලෙස ලංකාවට වැඩම කර ඇත්තේ.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට අඩි 10ක් උස මහියංගණ චෛත්‍ය ඉදිකර ඇති බවත් ඉතිහාසයේ දැක්වේ.

බුදුන් වහන්සේ උරුවෙල දනව්වට වැඩම කර තුන් බෑ ජටිලයන් වන උරුවෙල කාශ්‍යප , නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන අය සහ ඔවුන්ගේ ශිෂ්‍ය පිරිසට දහම් දේශනා කරමින් දහම් ව්‍යාප්ත කිරීම ආරම්භ කරනු ලද්දේ ද අද වන වූ දුරුතු පොහෝ දිනයක වනවා.

එසේම බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පුජා කර ඇත්තේ ද දුරුදු පොහොය දිනකය.

දුරුතු පොහෝ දිනය නිමිත්තෙන් අද දිනයේ ලෝකවාසී සහ ලංකාවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක නිරත වනු ලබනවා.