රත්කිඳ සහ රාජාංගන ජලාශවල වාන් දොරටු විවෘත කරයි

ඇද හැලෙන වර්ෂාව හමුවේ උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කර තිබෙනවා.

ඒ අනුව පිටවානේ සියලුම ගේට්ටු විවෘත කර ඇති බවයි ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා පැවසුවේ.

රත්කිඳ ජලාශයේ ජල මට්ටම පිරිසැපයුම් මට්ටම ඉක්මවා ගොස් ඇති අතර එය නියමිත මට්ටමේ පවත්වා ගැනීම පිණිස මාපාකඩ කාර්ය භාර ඉංජිනේරුවරයාගේ උපදෙස් පරිදි මෙලෙස ජල පාලන දොරටු විවෘත කර තිබෙනවා.

ඒ අනුව ජල පාලන දොරටු තුනක් මීටර් එක බැගින්ද ඉතිරි ගේටුට තුන මීටර් 0.5 බැගින්ද විවෘත කර තිබේ.

දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි රත්කිඳ – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ කොටසක් ජලයෙන් යටව තිබේ.

තවද ඉදිරි පැය කිහිපය තුළදී ඇද හැලෙන වර්ෂාවේ ප්‍රමාණය මත ජල පාලන දොරටු විවෘත කරන ප්‍රමාණයද වෙනස් විය හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මේ අතර රාජාංගන ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කර තිබෙනවා.

අඩි දෙක බැගින් විවෘත කර ඇති මෙම වාන් දොරටු දෙක තුළින් තත්ත්පරයට ඝන අඩි 1,200ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර තිබේ.