ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම යයි

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන්  විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා.

දශක 4ක කාලයක් පුරා මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දාකයත්වයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකුවන ශවේන්ද්‍ර සිල්වා, 2020 වසරේ ජනවාරි 1 වනදා වැඩබලන  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසින් එවක ජනධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් පත් කරනු ලැබුවා.

1984 මාර්තු 5වනදා දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ 19 වැනි නිලධාරි ශිෂ්‍යභට බඳවාගැනීම් පාඨමාලාවට බැඳෙමින් ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය.

එතැන් සිට කැපී පෙනෙන රණවිරුවෙකු බවට පත් වූ ඔහු 2019 වසරේ අගෝස්තු 19 වනදා මෙරට 23වන යුද හමුදාපතිවරයා ලෙස තේරී පත් විය. 

2022 මැයි 31 දක්වා එම ධුරයේ කටයුතු කළේය.

ඉන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බවට පත් වූ හෙතෙම ජනාධිපතිවරු සිවුදෙනෙකු යටතේ සේවය කර තිබෙනවා.

එනම් හිටපු ජනධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යටතේ මෙන්ම වත්මන් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ ද කටයුතු කරමින් සිටී.

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති යනාදි ලෙස තනතුරු රැසක් ඔහු දරා ඇත.

ශවේන්ද්‍ර සිල්වා මහතා කා අතරත් ජනාදරයට පත් රණවිරුවෙක් වූයේ උතුර සහ නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමේදීය.

එම මෙහෙයුමේදී 58 සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙසින් ඔහු කටයුතු කළේය.

ඊට පෙර 1995 වසරේ දී යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවාගැනීම සඳහා දියත් කෙරුණු ‘රිවිරැස’ මෙහෙයුමේ දී පාබල බලඇණියේ අණදෙන නිලධාරියා ලෙසද කටයුතු කර ඇත.

එවර ඔහු ශ්‍රී ලංකා හමුදාව මෙතෙක් බිහිකළ ලාබාලතම අණදෙන නිලධාරියා බවට පත් වූ අතර, එම වාර්තාව අදටත් නොකැඩි පවතිනවා.

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා 2010 වසරේදී පත්වීම් භාර ගනු ලැබුවා.

එය ශ්‍රී ලංකාවේ විදේශ දුත මෙහෙය ‘තානාපති’ තනතුරකට හමුදා සේවයේ යෙදී සිටියදී පත් කරනු ලැබූ පළමු අවස්ථාව ද විය.

එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක නියෝජිත මණ්ඩලයේ ඉහළ පෙළේ උපදේශක කමිටුව සඳහා ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කළේය.

එවැනි පත්වීමක් ලැබූ පළමු ශ්‍රී ලාංකීක සාමාජිකයා ද ඔහු වීම විශේෂත්වයක්.