මෝදි කුවේට් යන්න සැරසෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා එළඹෙන 21 වැනි දා කුවේටයට යාමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

වසර 40කට වැඩි කාලයකට පසු ඉන්දීය අගමැතිවරයකු විසින් සිදු කර පළමු කුවේට් සංචාරය මෙය වීම විශේෂත්වයක්.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ඓතිහාසික සංචාරයේ දී, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කුවේටය සහ ඉන්දියාව අතර පැරණි මිත්‍ර සබඳතා තවදුරටත් තහවුරු කිරීම සහ පුළුල් කිරීම සම්බන්ධයෙන් කුවේට් නායකත්වය සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඉන්දීය රජය පවසනවා.

කුවේට් විදේශ අමාත්‍ය අබ්දුල්ලා අලි අල්-යාහ්යා මේ මස මුල දී නවදිල්ලියට ගොස් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමු වුණු අවස්ථාවේ දී ඔහු කුවේටයට පැමිණෙන ලෙස නිල ආරාධනයක් කර තිබුණා.

ඉන්දියානු රජය මෑත වසරවල දී රටවල් හයක ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) රටවල් සමඟ සිය සබඳතාවලට ප්‍රමුඛත්වය දී තිබෙනවා.

කුවේටය දැනට ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) සභාපතිත්වය දරණ බැවින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කුවේට් සංචාරය අමතර වැදගත්කමක් ලබා ගන්නා බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.