බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසර අවසානයේ

අන්තර්වාර පාලන රජයක් යටතේ ක්‍රියාත්මක වන බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසර අවසානයේ පැවැත්වීමට අවධානය යොමුව තිබෙනවා.

අන්තර්වාර පාලන රජයේ නායක නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් ජාතිය අමතමින් ඒ බව සඳහන් කරනවා .

මැතිවරණ ප්‍රතිසංස්කරණයක් සිදුකළහොත් 2025 වසර අවසන් වන විට හෝ 2026 වසරේ මුල බංග්ලාදේශයේ මැතිවරණය පැවැත්විය හැකි බව එරට අන්තර්වාර රජයේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මැතිවරණ ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිර්දේශ සහ ජාතික එකඟතාව මත පදනම්ව පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ නම්, එයට අමතර මාස හයක් අවශ්‍ය විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රට තුළ ඇති වූ විරෝධතා හමුවේ එවකට අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වී පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියාවට පලා ගියා.

ඉන් අනතුරුවයි බංගලාදේශය තුළ මුහම්මද් යුනුස් ප්‍රමුඛ අන්තර් පාලනය බිහිවුණේ.