දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන

දිස්ත්‍රික්ක කිහිපයකට 1වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත්කර තිබෙනවා.

මහනුවර, බදුල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට මෙලෙස අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.

මේ අතර ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) දහවල් නිකුත්කළ තිබූ නිවේදනයේ දැක්වේන්නේ, ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින කැළඹිලි ස්භාවය තවදුරටත් පවතින බවයි.

එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවත්, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවත් සඳහන්.

මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව, විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා තිබෙනවා.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

එසේම උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

එමෙන්ම, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණතරමක තද සුළං ඇතිවිය හැකි බවත් මධ්‍යම, සබරගමුව සහ දකුණුපළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.