විදෙස් දුරකතන ඇමතුම් ඔස්සේ සිදුවන අපරාධ ඉහළට

විදෙස් දුරකතන ඇමතුම් ඔස්සේ සිදුවන අපරාධ පිළිබඳ පැමිණිලි ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

විදෙස් දුරකතන අංක යොදාගනිමින් පැමිණෙන වට්ස්ඇප් කෙටි පණිවුඩ ඔස්සේ වැඩි වශයෙන් මුදල් වංචා කිරීම් සිදුවන බවයි සභාව පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන්, අනන්‍යතාව තහවුරු නොවූ කිසිඳු පුද්ගලයෙකු සමග වට්ස්ඇප් ඔස්සේ මුදල් ගනුදෙනු තොරතුරු හුවමාරු නොකරන ලෙස ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය නොමැති, ජංගම දුරකතන භාවිතය ද දිනෙන් දින ඉහළ යන බවට හඳුනාගෙන ඇත.

ඉදිරි දිනවලදී ඊට අදාළව පවතින නීති නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව සඳහන් කළේ ය.

නවතම ජංගම දුරකතන ආනයනය කිරීම වෙනුවට වෙනත් රටවල භාවිත කරන ලද ජංගම දුරකතන, නිසි ක්‍රමවේදවලින් බැහැරව මෙරටට රැගෙන ඒම තුළින් අදාළ ගැටලුව උද්ගතව ඇතැයි සඳහන් වේ.

ජනතාව මිලදී ගත යුත්තේ කොමිසම විසින් අනුමත කරන ලද ජංගම දුරකතන පමණක් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කරනවා.