උසස් පෙළ උපකාරක පන්ති අදින් අවසන්

2024 අ . පො . ස . උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ, අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වනවා.

එම උපදෙස්  පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර පසුගිය විභාග වල දී සිදු වූ ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අධීක්ෂණ කටයුතු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව පළාත් සහ කලාප කාර්යාලවල නිලධාරීන් ද යොදා ගැණෙනු ඇත.

එක් අධීක්ෂක නිලධාරියෙකු දින 15ක් තුළ විභාග මධ්‍යස්ථාන 20ක් ආවරණය කළ යුතු වනවා.

මේ අතර සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ශාලාවලට ජංගම දුරකතන රැගෙන යාම ද තහනම් කර තිබේ.

දුරකතන රැගෙන යාමට අවසර හිමිවන්නේ, විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිට හා අතිරේක අධීක්ෂණ ශාලාධිපතිට පමණි.

උසස් පෙළ විභාගය ලබන 25 වැනි දා සිට දෙසැම්බර් 20 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.